ඉරාන යුද නැවට එල්ල වුණු ප්‍රහාරය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 4, 2026

ඉරාන යුද නැවට එල්ල වුණු ප්‍රහාරය

ඇමෙරිකන් සබ්මැරීනයක ට්‍රෝපීඩෝ මිසයිල ප්‍රහාරයට ලක් වී මුහුදුබත් වුණු ඉරාන යුද නෞකාවක සිටි නාවික භටයන් තිස් දෙදෙනකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. 

ඇමෙරිකන් සබ්මැරීනයේ ප්‍රහාරයට ලක් වෙද්දී අයිරිස් ඩේනා නමැති මෙම ඉරාන යුද නෞකාව, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට, නාවික සැතපුම් හතළිහක් ඔබ්බෙන්, ජාත්‍යන්තර මුහුදේ, නැගෙනහිර සහ බටහිර ජාත්‍යන්තර නෞකා බහුල වශයෙන් ගමන් ගන්නා මාර්ගයේ යාත්‍රා කරමින් තිබුණු බව පැවැසෙයි. 

රොයිටර් සහ අල් ජසීරා පුවත් සේවා වාර්තා කළේ අයිරිස් ඩේනා යුද නෞකාව, ඉතුක් පෙබරවාරියේ නැගෙනහිර ඉන්දියාවේ විශාඛාපට්නම් වෙරළබඩ නගරයේ පැවැත්වුණු ජාත්‍යන්තර නාවික ප්‍රදර්ශනයට සහභාගී වී ආපසු ඉරානය බලා යාත්‍රා කරද්දී ඇමෙරිකන් සබ්මැරීනයේ ඉලක්කයක් වූ බවය. 

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ දී, ඇමෙරිකන් සබ්මැරීනයක් ඉරාන නෞකාවට පහර දුන් බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් (ඇමති) පීටර් හෙග්සෙත් පැවැසුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි. 
පීටර් හෙග්සෙත්

ඇමෙරිකන් සබ්මැරීනයක් ට්‍රෝපීඩෝ මිසයිල භාවිතයට ගනිමින්, සතුරු යුද නෞකාවක් පහර දී මුහුදුබත් කිරීමට කටයුතු කළේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමු වරට යැයි ද ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේය. 

අද (4) අලුයම 5.15 ට පමණ ඇමෙරිකන් ප්‍රහාරයෙන් හානියට පත්වුණු අයිරිස් ඩේනා නෞකාවේ සෙබළුන් උදවු ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් වහා ක්‍රියාත්මක වී, ඉරාන නාවික භටයන් තිස් දෙදෙනකු බේරා ගත්තේය. 

ශ්‍රී ලංකා නාවික හමුදාවට හමුවුණු මළසිරුරු ගණන 80 කි. ප්‍රහාරයට ලක් වෙද්දී නෞකාවේ 180 දෙනකු සිට ඇතැයි පැවැසෙයි. බේරාගත් නාවික භටයන් තිස් දෙදෙනා කඩිනමින් ගාල්ල නාවික හමුදා කඳවුරට රැගෙන ආ අතර පසුව එම පිරිස කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණි. 

අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන්ගේ මළ සිරුරු ද ගාල්ල ජාතික රෝහල වෙත රැගෙන ඒම සිදුවිය. විනාශ වුණු නෞකාවේ සිටි සෙසු පිරිස සෙවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ යාත්‍රාවක් ඇතුළු ගුවන්යානා කිහිපයක්, නෞකාව ප්‍රහාරයට ලක්වුණු මුහුදු සීමාවට යැවූ බව නාවික හමුදාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. 

අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉරාන යුද නෞකාවෙන් උදවු ඉල්ලා කළ පණිවුඩයට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. 

ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ ස්ථානයට යද්දී, ඔවුන්ට දකින්න ලැබුණේ ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයක් පමණක් බවත්, ඒ වනවිට යුද නෞකාව පෙනෙන්න නොතිබුණු බවත් එය මුහුදුබත් වන්න ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් කියා සිටියේය. 

තුවාල ලැබූවන් මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් ගොඩබිමට රැගෙන ආ බවත් පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවැසීය. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යූ.එම්. රංග මහතා සඳහන් කළේ නෞකා අනතුරින් රෝහල්ගත කළ පුද්ගලයන්ගෙන් හත් දෙනකුගේ පමණ තත්වය බරපතළ බවය. අනෙක් අයගේ තත්වය එතරම් බරපතළ නොවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. 
මේ අතර, තුවාල ලබා රෝහල්ගත කළ ඉරාන නාවික භටයන්ගේ හමුවී සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටත් ඔවුන්ගේ සුව දුක් විමසා බැලීමටත් මෙරට ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු කඩිනමින් ගාල්ල බලා පිටත්ව ගිය බව ද වාර්තා වේ. 

ඇමෙරිකන් සබ්මැරීන ප්‍රහාරයෙන් විනාශ වී මුහුදුබත් වුණු අයිරිස් ඩේනා යුද නෞකාව ඉරාන නාවික හමුදාවේ 86 වන බලඇණියට අයත් විය. මෙය සම්පූර්ණයෙන් ම ඉරානයේ නිෂ්පාදිත නෞකාවකි. නෞකාව ඉදි කෙරුණේ ඉරානයේ බන්ඩාර් අබ්බාස්, ෂාහිඩ් ඩර්විෂි නැව් අංගනයේදීය. 

 2022–2023 දී ඉරාන නාවික හමුදාවේ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා අයිරිස් ඩේනා නෞකාව ලොව පුරා කිලෝමීටර් 65,000 ක නාවික මෙහෙයුමක නිරත වූ අතර එය බොහෝ දෙනාගේ කතාබහට ද ලක්විය. නෞකාව ටොන් 1,500ක බරකින් යුක්ත මීටර් 95ක් පමණ දිගකින් යුක්ත බව පැවැසෙයි.

නෞකාව ප්‍රහාරක මිසයිලවලින් මෙන්ම, ප්‍රති මිසයිල නාශකවලින් ද සන්නද්ධ වී තිබුණි. ඉරාන නාවික හමුදාව අයිරිස් ඩේනා නෞකාව භාවිතයට ගෙන ඇත්තේ, ගෝලීය වෙළෙඳ කටයුතු ආරක්ෂා කිරීම, මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව සටන් වැදීමට සහ දිගු කාලීන සාගර මෙහෙයුම් සඳහාය.

Classified_Ad